in

රනිල් වික‍්‍රමසිංහ ගැන අප්‍රකට තොරතුරු

කොළඹ උපන්නද වික‍්‍රමසිංහ පරම්පරාවේ ඉතිහාස කතාව ලියැවෙන්නේ ගාල්ලේ බද්දේගමය. ඒ පරම්පරා කතාවට පෙර රනිල්ගේ උපත ගැන දැන ගැනීම වටී. ඔහු උපන්නේ එක්දහස් නවසිය හතළිස් නවයේ මාර්තු විසිහතර වැනිදාය. රනිල් වික‍්‍රමසිංහ යනුවෙන් රටුන් අතරේ ප‍්‍රසිද්ධ වුවත් ඔහුගේ නමට තවත් කෑල්ලක් ඇත්තේය. ඔහුගේ සම්පූර්ණ නම රනිල් ශ‍්‍රියාන් වික‍්‍රමසිංහය. රනිල් පවු‍ලේ දෙවැනියාය. වැඩිමලා ශාන් වික‍්‍රමසිංහය. ලංකාවට රූපවාහිනිය හඳුන්වා දුන්නේ ශාන්ය. දැන් රජය සතු වුවද ස්වාධීන රූපවාහිනී සේවය පටන් ගත්තේ ශාන්ය. මෙකල ඔහු ටී.එන්.එල්. නාලිකාවේ හිමිකරුය. රනිල්ගේ බාල සොයුරු සොයුරියන් වන්නේ විරාජ්, චන්න හා ශානිකාය. රනිල්ගේ සීයා සිරිල් ලෙනාඞ් වික‍්‍රමසිංහය. බද්දේගම උපන් ඔහු ප‍්‍රකට වූයේ සී.ඒ. වික‍්‍රමසිංහ යන නමිනි. ගාල්ලේ රිච්මන්ඞ් විදුහලෙන් හා කොළඹ රාජකීය විදුහලෙන් අකුරු කළ ඔහු ලන්ඩන් සරසවියේ උපාධිය ලැබිය. එක්දහස් නවසිය දොළහේදී ලංකා සිවිල් සේවයට එක් වූ ඔහු මෙරට මුල්ම සිංහල ඉඩම් කොමසාරිස්වරයාය. එපමණක් නොව සී.ඒ. වික‍්‍රමසිංහ වූ කලී ලංකාවේ මුල්ම සිංහල දිසාපතිවරයාය. ඞී.ඇස්. සේනානායකගේ ගොවිජනපද ව්‍යාපාරය පිටුපස හුන් යෝධ සෙවණැල්ල වූවේද සී.ඒ. වික‍්‍රමසිංහය.

ඔහු විවාහ වූයේ කුරුණෑගල මූනම‍ලේ වලව්වේනි. ඇය ඒඩා මූනම‍ලේ ගුණවර්ධනයි. ඔවුන්ට හුන් දරුවන් ගණන සිව් දෙනෙකි. වැඩිමලා එස්මන්ඞ්ය. දෙවැනියා තිස්සය. තෙවැනියා වූයේ පසුකලෙක කුරුණෑගල රදගුරු ධුරයට පත් වූ ලක්ෂ්මන් වික‍්‍රමසිංහය. පවු‍ලේ එකම ගැහැනු දරුවා මුක්තා වික‍්‍රමසිංහය. ඈ විවාහ වූයේ පාර්ලිමේන්තුවේ මහ‍ලේකම් ධුරය දැරූ සෑම් විජෙසිංහ සමගය. හිටපු මන්ත‍්‍රීවරයකු වූ මහාචාර්ය රජීව විජේසිංහ සෑම් හා මුක්තා යුවළගේ පුතාය.

පසුකලක එජාපයේ නිල නොවන නායකයා ලෙස හැඳින්වුවද එස්මන්ඩ් දේශපාලනයේ අයන්න කියවූයේ ලංකා සම සමාජ පක්ෂයෙනි. ඔහු එහි ප‍්‍රබල චරිතයකි. පක්ෂයේ නිල ප‍්‍රකාශනය වූ සමසමාජය සගරාව විකිණීම භාරව හුන්නේ එස්මන්ඩ්ය. ඇතැම් දිනවල ඔහු සගරාව වික්කේ සිය සුබෝපභෝගී හම්බර් හෝක් මෝටර් රථයෙන් ගොස් බව එකල කියවිණි.

එස්මන්ඞ් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ තරුණියක සමග පේ‍්‍රම සබඳතාවක පැටලී ඇය සමග විවාහ විය. ඇය නාලිනී විජයවර්ධනය. ලංකාවේ පුවත්පත් ක්‍ෂේත‍්‍රයේ මහා චරිතය වූ ඞී.ආර්. විජයවර්ධන නාලිනීගේ පියාය.

නෑකමේ හැටියට ඞී.ආර්. විජයවර්ධන රනිල් වික‍්‍රමසිංහගේ සීයාය. මේ නෑකමින් රනිල් මෙරට රාජකීය උරුමයටද නෑකම් කියන්නේය.

රනිල්ගේ මව වන නාලනී විජයවර්ධනගේ පරම්පරාවේ අක්මුල් දෙවැනි රාජසිංහ රජ සමය දක්වා විහිදෙන බව ජාතික ‍ලේඛනාගාරයේ අධිපතියා විසින් ප‍්‍රකාශයට පත්කරන ලද ‍පොතක සඳහන් වේ. මේ ‍පොතේ හැටියට රාජසිංහ රජුගේ හමුදාවේ හුන් රණූශූරයකු වූයේ තෙන්නකෝන් මද්දුම රාළය. ඔහුගේ පුතා වූ තෙන්නකෝන් අප්පුහාමි සබරගමුවේ මහ දිසාව විය. කළුතර තුඩුගල පරම්පරාව පැවැත එන්නේ තෙන්නකෝන් අප්පුහාමිගෙනි. තුඩුගල පරම්පරාවේ මෑතකාලීන කැපී පෙනෙන චරිතය වූයේ දොන් පිලිප් තුඩුගලය. කොළඹ වරායේ දියකඩනය ඇතුළු යටත් විජිත සමයේ නගරයේ දියුණුව උදෙසා ඉදිවූ ගොඩනැගිලිවලට අවශ්‍ය අමුද‍්‍රව්‍ය සපයා, දොන් පිලිප් තුඩුගල මහා ධනවතකු විය. ඉංග‍්‍රීසිහු ඔහුට විජයවර්ධන යන නම්බුනාමය දුන්හ. නෑකමේ හැටියට දොන් පිලිප් විජයවර්ධන වූ කලී රනිල්ගේ මුත්තාය.

රනිල්ගේ මව වන නාලනී විජයවර්ධන වූ කලී දොන් පිලිප් විජයවර්ධනගේ හා කැලණි රජමහා විහාරයේ නූතන ප‍්‍රබෝධයේ මහෝපාසිකාව වූ හෙ‍ලේනා ඩෙප් වීරසිංහගේ කීර්තිමත් පුත‍්‍රරත්නයක් වූ ඞී.ආර්. විජයවර්ධනගේ දියණියකි. ඞී.ආර්. විවාහ වූයේ රුවන්වැල්‍ලේ මීදෙණිය වලව්වේ ඇලිස් ගර්ට්රූඞ් මීදෙණිය කුමාරිහාමි සමගය. රනිල්ගේ මිත්තණිය වූ මීදෙණිය කුමාරිහාමිගේ වැඩිමහලූ සොයුරිය ඇඞ්ලින් මොලමුරේ ලංකාවේ ව්‍යවස්ථාදායකයට (පාර්ලිමේන්තුවට) තේරුණු මුල්ම මන්ත‍්‍රීවරිය ලෙස වාර්තාවක් තැබුවාය. ඇඞ්ලින්ගේ සැමියා වන සර් ප‍්‍රැන්සිස් මොලමුරේ ලංකාවේ මුල්ම කථානායකවරයාය.

රනිල් වික‍්‍රමසිංහගේ මවගේ එක් සහෝදරයකු වූයේ රංජිත් විජයවර්ධනය. රනිල්ගේ මාමා වන ඔහු ලංකාදීප පුවත්පත මුද‍්‍රණය කරන විජය පුවත්පත් සමාගමේ අධිපතිවරයාය. රංජිත් විජයවර්ධන විවාහ වූයේ අඹේපුස්සේ බෝත‍ලේ වලව්වෙනි. ඒ ඞී.ඇස්. සේනානායකගේ බාල පුතණුවන් වූද, ඩඞ්ලි සේනානායකගෙ සොයුරාවූද, රොබට් සේනානායකගේ දියණියක වන රංජනී සේනානායක සමගය. රංජිත් – රංජනී යුවළගේ බාල පුතා වන්නේ ගම්පහ දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජයවර්ධනය. රනිල් හා රුවන් දෙමස්සිනෝය.

රනිල්ගේ අනෙක් මස්සිනා වන්නේ ‍පොළොන්නරුව දිස්ත‍්‍රික් එජාප මන්ත‍්‍රී වසන්ත සේනානායකය. වසන්ත සේනානායකගේ පියා වන්නේ රොබට් සේනානායකගේ තවත් පුතෙකු වන රංජිත් සේනානායකය.

රනිල් වික‍්‍රමසිංහගේ මව නාලනී විජයවර්ධනගේ නැන්දා වූ ඇග්නස් හෙලන් විජයවර්ධන විවාහ වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඉයුජින් විල්ෆ‍්‍රඞ් ජයවර්ධන සමගය. එම යුවළගේ වැඩිමහලූ දරුවා වූයේ ජෙ.ආර්. ජයවර්ධනය. ඒ නෑකම අනුව ජෙ.ආර්. – රනිල් මාමා-බෑණා වෙති.

රනිල් දේශපාලනයට ගෙන ආවේ ජෙ.ආර්.ය. එනමුත් ජෙ.ආර්.ගේ මුල්ම තේරීම වූයේ රනිල් නොව ඔහුගේ පියා වූ එස්මන්ඞ් වික‍්‍රමසිංහය. ජෙ.ආර්. එජාප නායකත්වයට පත් වූ විගස ඔහු එස්මන්ඞ්ට ආරාධනාවක් කළේය. ඒ ක‍්‍රියාකාරී දේශපාලනයට එන ලෙසය. ජෙ.ආර්. එස්මන්ඞ්ට එවැනි යෝජනාවක් කළේ එස්මන්ඞ්ගේ තරම දන්නා බැවිනි. දශක ගණනාවක් ලංකාවේ ආණ්ඩු පිහිටුවන්නේ කවුරුදැයි එසේ නැතිනම් මීළග අගමැති කවුරුදැයි තීරණය කළ රජුන් තතන්නා වූයේ එස්මන්ඞ් වික‍්‍රමසිංහය. එස්මන්ඞ් වික‍්‍රමසිංහ චරිතය මතුවන්නේ ඔහු ‍ලේක්හවුස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ධුරයට පත්වීමත් සමගය. එස්මන්ඞ් රටේ කෙතරම් බලසම්පන්න චරිතයක් වූවාදැයි කිවහොත් ඞී.ඇස්. සේනානායක මිය ගිය පසු ඩඞ්ලි අගමැති බවට පත්කිරීමේ ව්‍යාපෘතියේ ප‍්‍රධාන චරිතයක් වූයේ ඔහුය.

ඞී.ඇස්. මරණයට පත්වූයේ අසුපිටින් වැටී බවට අදහන බොහෝ දෙනා අදත් සිටියත් සැබවින්ම ඔහු මිය ගියේ හෘදයාබාධයකිනි. වසර දෙක තුනක සිටම දුර්වල සෞඛ්‍ය තත්ත්වයේ සිටි ඔහු සිය පුතුගේ අනාගතය භාර කළේ එස්මන්ඞ්ටය. ඞී.ඇස්. රෝගාතුර වූ මොහොතේ අග‍්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි හුන්නේ නොරටය. ඔහු ලංකාවෙන් පිටවීමට පෙර වැඩබලන අග‍්‍රාණ්ඩුකාර ධුරයට අගවිනිසුරු ශ‍්‍රීමත් ඇලන් රෝස් පත්කළේ උපදෙසක්ද දෙමිනි. ඒ අගමැතිවරයාට විපත්තියක් සිද්ධ වුවහොත් තමා එනතුරා එම ධුරයට කිසිවකුත් පත්නොකළ යුතු බව පවසමිනි. එමෙන්ම එස්මන්ඞ් වික‍්‍රමසිංහ සියලූ කටයුතු බලාගනු ඇතැයිද ඔහු කීවේය.

මේ අතර අගමැති මිය ගියේය. ආණ්ඩුවේ දෙවැනියා වූ සභානායක ජෝන් කොතලාවල වැඩබලන අග‍්‍රාණ්ඩුකාරවරයාගෙන් අගමැතිකම ඉල්ලීය. ඒ වෙලාවේ ඉදිරියට ආවේ එස්මන්ඞ්ය. සෝල්බරී සාමි පෙරළා ලංකාවට පැමිණ ජෝන් කොතලාවල වෙනුවට ඩඞ්ලි සේනානායක අගමැති ධුරයට පත්කිරීමය. යම් හෙයකින් එස්මන්ඞ් වික‍්‍රමසිංහ ක‍්‍රියාත්මක නොවූවේ නම් ලංකාවේ දෙවැනි අගමැති වන්නේ ඩඞ්ලි නොව ජෝන්ය.

රනිල්ගේ තාත්තා ලංකා දේශපාලනයේ ප‍්‍රසිද්ධියට පත් වූයේ රජුන් තනන්නෙකු ලෙස පමණක් නොවේ. ඔහු දක්ෂ දේශපාලන නූල් සූත්තරකාරයෙකු ලෙසද ප‍්‍රසිද්ධය.

එස්මන්ඞ් වික‍්‍රමසිංහගේ දේශපාලන නූල් සූත්තර කලාවේ කූඨප‍්‍රාප්තිය වන්නේ හැට හතරේදී සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව පෙරලීමට කළ පාර්ලිමේන්තු කුමන්ත‍්‍රණය බව පැවසේ.

මේ සිද්ධිය ලංකා දේශපාලනයේ හැඳින්වෙන්නේ මහජන ඡුන්දයකින් නොව පාර්ලිමේන්තු කුමන්ත‍්‍රණයකින් ආණ්ඩුවක් පරාජය කළ පළමු හා එකම අවස්ථාව ලෙසය.

ශ‍්‍රීලනිප ආණ්ඩුව පෙරළා නතර නොවූ එස්මන්ඞ් හැට පහේ ඩඞ්ලිගේ ආණ්ඩුව පිහිටුවීමටද මූලිකයා විය. එම ඡුන්දයේදී එ.ජා.පයට හිමිවූයේ සුළු බහුතරයක් වුවද දෙමළ පක්ෂවල සහය ලබා ගනිමින් පස් අවුරුද්දක් ආණ්ඩුව පවත්වාගෙන යාමට එස්මන්ඞ් බොහෝ දේ කළේය.

කොටින්ම කියනවා නම් හැට පහේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හැදුවේ කොල්ලූපිටියේ පස්වැනි පටුමගේ එස්මන්ඞ්ගේ ගෙදරදීය. ඒ ගෙදර දැන් හිමිකරුවා රනිල්ය. එස්මන්ඞ්ගේ මේ රත්තරන් මොළය නිසා ඩඞ්ලි සේනානායක ඔහුව සෙනට් මණ්ඩලයට පත්කර විදේශ ඇමැති ධුරය දීමට යෝජනා කළේය. හැරත් රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතුවලට ඔහුට තිබුණේ පුදුම හැකියාවකි. ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ගැනීමට තිබූ බාධක ඉවත්කර සාමාජිකත්වය ලබාදුන්නෙත් එස්මන්ඞ්ගේ මූලිකත්වයෙනි. කෙසේ නමුත් එස්මන්ඞ් ඩඞ්ලි සේනානායකගේ යෝජනාව කාරුණිකව ප‍්‍රතික්‍ෂේප කළේය.

70 ඡන්දයෙන් එජාපය හතරගාතේ වැටුණු මොහොතේදී පක්ෂය ගොඩ ගැනීමට හැකියාව ඇත්තේ ජෙ.ආර්.ට බව එස්මන්ඞ් දුටුවේය. ඩඞ්ලි මිය ගිය පසු ජෙ.ආර්.ට පක්ෂ නායකත්වය දීමට එස්මන්ඞ් පෙරමුණ ගත්තේ එබැවිනි. නෑකම අනුව නම් ජෙ.ආර්. හා එස්මන්ඞ් දෙමස්සිනෝය.

ජෙ.ආර්. ජයවර්ධන පක්ෂ නායකත්වයට පත්වූ විගස එස්මන්ඞ් වික‍්‍රමසිංහට ආරාධනාවක් කළේය. ඒ ක‍්‍රියාකාරී දේශපාලනයට එන ලෙසය. එනමුත් එස්මන්ඞ් මෙවරත් එම යෝජනාව කාරුණිකව ප‍්‍රතික්ෂේප කළේය. කෙසේ නමුදු ජෙ.ආර්.ට වික‍්‍රමසිංහ පරම්පරාවෙන් දේශපාලනඥයකු ඕනෑ විය. අවසානයේදී ජෙ.ආර්.ගේ තේරීම වූයේ රනිල් වික‍්‍රමසිංහය.

රනිල්ට අකුරු කියවූයේ විජයවර්ධන පරම්පරාවේ දායක විහාරස්ථානයක් වූ හුණුපිටිය ගංගාරාමයේ අධිපති දෙවුන්දර වාචිස්සර නාහිමියන්ය. මෙකලත් රනිල් ගංගාරාමයේ මෙන්ම කැලණිය රජමහා විහාරයේ දායක සභාවේද සභාපතිවරයාය. ඒ කැලණිය පන්සලද විජයවර්ධන පවුලට බෙහෙවින් සමීප වූ බැවිනි. රනිල් බුදුදහම ඉගෙන ගත්තේ බම්බලපිටිය වජිරාරාමයෙනි. බුදුදහම පමණක් නොව රනිල් පැටි වයසේදී නර්තනයද සංගීතයද ඉගෙන ගත්තේය. ඔහුගේ නැටුම් ගුරුවරයා වූයේ ශ‍්‍රී ජයනාය. රනිල් සමග ජයනාගේ නැටුම් ඉගෙන ගත් ඔහුගේ සමකාලීන මිතුරියක වන්නේ චන්ද‍්‍රිකා බණ්ඩාරනායකය. එකල ඔහු නර්තනයට පමණක් නොව පියානෝ වාදනයටද දක්ෂය. සිය පරම්පරාවේ සියල්ලන්ම මෙන් රනිල් වික‍්‍රමසිංහද ඉගෙන ගත්තේ කොළඹ රාජකීය විදුහලෙනි.

රනිල් මුලින්ම පත්වූයේ කැලණිය ආසනයටය. කැලණිය හා දොම්පේ ආසන දෙකෙන් කොටස් එකතු කර බියගම ආසනය පිහිටු වූ විට ජෙ.ආර්. රනිල්ට බියගම ආසනය දුන්නේය. ඒ හැත්තෑ හයේදීය. හැත්තෑ හතේ පාර්ලිමේන්තු මැතිවරණයේදී රනිල් වික‍්‍රමසිංහ බියගම ආසනය ජය ගත්තේ ශ‍්‍රීලනිපයේ ඬේවිඞ් හපන්ගම පරාජය කරමිනි. ඒ ඡන්දයේදී රනිල් ඡන්ද 22,045ක් දිනාගත්තේය. ජෙ.ආර්. ජයවර්ධන සිය මුල්ම ඇමැති මණ්ඩලය පත්කිරීමේදීද සිය බෑණා අමතක නොකළේය. මුලින්ම රනිල්ට ලැබුණේ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ධුරයයි. එවිට ඔහුගේ වයස අවුරුදු 28කි. එජාප ආණ්ඩුවේ හුන් ළාබාලම නියෝජ්‍ය ඇමැතිවරයා වූයේ රනිල්ය. ජෙ.ආර්. 78 දී මුල්වරට කැබිනට් මණ්ඩලය සංශෝධනය කළ අවස්ථාවේදී බෑණාට තරුණ කටයුතු හා රැකීරක්ෂා ඇමැති ධුරය දුන්නේය. එවිට රනිල්ගේ වයස අවුරුදු 29කි. කැබිනට්ටුවේ හුන් ළාබාලම ඇමැතිවරයා වූයේ ඔහුය.

පක්ෂයේ මීළග නායකයා විය යුත්තේ කවුදැයි යන්න පිළිබඳව අසූනවයේදී අර්බුදයක් හටගත් අවස්ථාවේ රනිල් ගත්තේ ආර්. පේ‍්‍රමදාසගේ පැත්තය. පේ‍්‍රමදාස ජනාධිපති වූ පසු රනිල් සභා නායකවරයා ලෙස පත්කෙරුණි. වෙස්ට්මිනිස්ටර් සම්ප‍්‍රදාය අනුව සභානායකවරයා වූ කලී අගමැතිට පමණක් දෙවැනි වන තනතුරකි. රනිල් වික‍්‍රමසිංහ එජාප නායකත්වය දක්වා ගමන් කිරීම සඳහා මාවත විවර වූයේ එම ධුරයට පත්වීමත් සමගය. පේ‍්‍රමදාස ජනපතිවරයාගේ අකල්මරණයත් සමග ඞී.බි. විජෙතුංග ජනපති විය. පුරප්පාඩු වූ අගමැති ධුරයට පත්කෙරුණේ රනිල්ය. ඉන් ඉක්බිතිව ඞී.බි.ගෙන් පසු රනිල් එජාප නායකයා විය.

දේශපාලන දිවියේදී ලද සියලූ තනතුරු ඇමැතිකම් ළාබාල වයසකදී හිමිවීමට තරම් වාසනාවන්ත වුණිද රනිල් වික‍්‍රමසිංහට සහකාරියක් හමුවූයේ ඔහු මැදිවයස පසුකරමින් සිටින විටය. රනිල් වික‍්‍රමසිංහ විවාහ දිවියට එළැඹියේ ඔහු විපක්ෂ නායක ධුරය දැරූ කාලයේදීය. රනිල්ගේ බිරිය වන මෛත‍්‍රී වික‍්‍රමසිංහ කැලණිය සරසවියේ ඉංග‍්‍රීසි අංශයේ මහාචාර්යවරියකි.

රනිල් වික‍්‍රමසිංහ මේ ගෙවමින් සිටින්නේ සිය දිවි ගමනේ හැටනව වන අවුරුද්දය. අනූහතරේ සිට එක් ඡන්දයකදී (2001) හැර මේ ඡන්දයේදී දිනන තුරු පැවැති සෑම මැතිවරණයකදීම ඔහු නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත් විය. ඇතැම් විට ඒ සියලූ පරාජයන් ඔහු උපේක්ෂාවෙන් දරා ගන්නේ සිය මාමා අනුගමනය කරමින් වෙන්න ඇතිය. මක්නිසාද යත් පනස් හයේ ඡන්දයේදී ජෙ.ආර්. ජයවර්ධන කැලණියෙන් අන්ත පරාජයක් ලබා තැඹිලි කෝම්බ ප‍්‍රහාරයකටද ලක්ව ගෙදර ගියදා පටන් ඔහුද අනුගමනය කළේ පරාජයේදී නොසැලී පෙරමුණටම යන වින්ස්ටන් චර්චිල්ගේ පිළිවෙතය. ඒ පිළිවෙතේ ගිය රනිල් වික‍්‍රමසිංහ අවසානයේදී ජයකණුවේ ඉහළටම නැග්ගේය. එනමුත් ඒ ජයෙන් උදම් ඇනීමට හෝ රට පුරා උත්සව පැවැත්වීමට හේතුවක් නැත. මක්නිසාද යත් එම ජයග‍්‍රහණය ඔහු කරා පැමිණියේ දශක දෙකක් කළ මහත් පරිශ‍්‍රමයක් ඔස්සේය. ඔහුට මුදුන් හිණිපෙතට නැගීමට ගමන්මග වැටී තිබුණේ සෘජු රේඛාවක නොවේ. ඔහුට ගමන් කිරීමට සිද්ධ වූයේ දහඅට වංගු ගණනාවක් පසුකරමිනි. අවසානයේදී ඔහු සිව්වැනි වරටත් අගමැති ධුරයේ දිවුරුම් දුන්නේය. මින් පෙර ඒ වාර්තාව තබා තිබුණේ ඩඞ්ලි සේනානායකය. ඔහු සිව්වතාවක් අගමැති ධුරයට පත් විය. ඩඞ්ලි මෙන්ම රනිල්ද දේශපාලන ලෝකයේ හැඳින්වෙන්නේ මහත්වරු ලෙසය.

බොහෝ දෙනා පවසන පරිදි රනිල් වූ කලී වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ ලංකාවේ අවසාන ලකුණය.

උපුටා ගැනිමක්.(අතිශයින්ම දැනුම සඳහා පමණි.)

මේ ලිපිය බෙදාගන්න
Share on Facebook
Facebook
1Email this to someone
email
Print this page
Print

16 Comments

Leave a Reply
  1. Thanks for finally writing about >රනිල් වික‍්‍රමසිංහ ගැන අප්‍රකට
    තොරතුරු – LifeTips.lk <Liked it!

  2. Thank you for the good writeup. It in fact was a amusement account it.
    Look advanced to more added agreeable from you!

    By the way, how can we communicate?

  3. Do you have a spam issue on this website; I also am a blogger,
    and I was wondering your situation; we have created some nice practices and we are looking to
    trade solutions with others, be sure to shoot me an email if interested.

  4. hello!,I love your writing so a lot! proportion we keep in touch extra
    approximately your article on AOL? I require an expert on this house
    to resolve my problem. Maybe that is you! Looking ahead to see you.

  5. I really like what you guys are usually up too. This kind of clever work
    and reporting! Keep up the wonderful works guys I’ve included you guys to blogroll.

  6. I’ll right away clutch your rss feed as I can’t find your email subscription link or e-newsletter service.
    Do you have any? Kindly allow me know so that I may just
    subscribe. Thanks.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ඔබේ මුදල් අර්ථවත් ලෙස පරිහරණය කළ හැකි මග

ශාන් වික්‍රමසිංහ කියන්නේ මේ වගේ චරිතයක්